Monday, November 21, 2011

ඒන්ජල්......


එය සුන්දර සිංහරාජයයි!
ජීවිතය අරමුණකින් තොරව ගලා ගිය කාල සීමාවක සිංහරාජයේ සුන්දරත්වය විඳිනු වස් ගියෙමි.අනුරාධපුරයේ සිට කලවාන හරහා සිංහරාජයට වූ වෙහෙසකර ගමන නිසාවෙන් ගත මහත් විඩාවකට පත්ව තිබූ නමුදු සිත නම් පෙරටත් වඩා පිබිදුණු සෙයක් හැඟුණි.ඒ මනස්කාන්ත සිංහරාජයට සිත වශී වී තිබූ නිසාවෙනි.දින දෙකක චාරිකාවක් වූ හෙයින් අප සිංහරාජ සොඳුරු නවාතැනෙහි ලැගුම් ගන්නට ඒ වන විටත් තීරණය කොට තිබුණි.තරමක් ඉහල භූමියක පිහිටා තිබූ එම නවාතැනෙහි සිට පහල බැලූ විට මන්ස්කාන්ත දිය කොමළියකි.


"යමුද මචං නා ගන්නවත්...?"


මහත් විඩාවට පත්ව තිබූ ගත ඒ වන විට සිහිල් දිය බිඳක පහස අයදිමින් තිබූ නිසාවෙන් අප නඩයේ තරුණයින් පිරිස දියට බසින්නට විය.
විශ්මයකි!    
  
  "තාරුණ්‍ය විසින් වෙලා ගත්
    දඩබ්බර කොලු හිතක්
    තනිකම අරක් ගෙන   
    නිරුදක කතරක් වූ කල
    ආදරය නම් සීත පවනැල්ල මුසු වූ
    සුන්දර මල් සුවඳ එබිකම් කරන කල
    දැනෙන සුවය කෙතරම් මිහිරිද...."


සීත දිය මැද පිපි සුන්දර පියුමක් වන් ආගන්තුක සොඳුරු රුවක් මාගේ නෙතු පැහැර ගෙන තිබුණි..
සීතල දිය විසින් ඇඟට ඇලවූ දිය රෙද්දත්,ඉන දක්වා කඩා හැලෙන කෙස් කළඹත්,දිය බිඳු සිප ගත් නිකැලැල් වත කමලත්..මාගේ සිත නුපුරුදු ආගන්තුක හැඟීමකින් පුරවාලන්නට සමත් වී තිබිණි...


"මොකද බං ඔතනට වෙලා ගල් ගිල්ලා වගේ කරන්නේ ..නාන්න හිතක් නැද් ද?."


සිහින ලොවක කිමිදී සිටි මා මිතුරන්ගේ බසින් පියවි සිහියට පැමිණියෙමි....කඩිමුඩියේ දියට බැස්සත් මාගේ නෙතු තවමත් මා සතුව නොතිබිණි.
ආහ්! ඒ වන විට සුන්දර සිනහ මලක් මා වෙත පාවී එමින් තිබිණි.....මා හිනාවෙන්නේ කෙලෙසද...මට සිනහවීමට අමතකව තිබිණි.
තවත් පමා විය යුතු නැත.එක් වදනත් හෝ ඒ සුන්දර මුවින් සවන් ගත විය යුතුය.මහත් වූ බලපොරොත්තු පොදි බැඳ මා ඇය දෙසට පිය මනින්නට සූදා නම් වුණා පමණි.


"අම්මේ....!" 


කියමින් සුරතල් දරුවන් දෙදෙනෙක් ඇයගේ ඇඟේ එල්ලුනි.මාගේ හීන ලෝකය මා ඉදිරිපිට මට ඔලොක්කුවට මෙන් සිනහ වෙමින් බොඳ වී යනු මට පෙනුනි.එක් වරක් දු‍ටු පමණින් මහත් වූ බලාපොරොත්තු පොදි බඳින්නට සමත් වූ ඇය අන් සතු වස්තුවකි.එය අන් උයනක පිපුණු මලකි.දරු දෙදෙනෙකුගේ සාඩම්බර මවකි..


"තාත්තී එන්නකෝ ඉක්මනට..මට නාන්න ඕනේ.....!"


මාගේ පුතු පැටියාගේ සුරතල් අඬ ගෑම මා වසර පහලවක අතීතයෙන් වර්තමානයට ඇද දමන්නට සමත් විය.
වසර පහලවක් ඉක්ම ගියද ඒ නන්නාඳුනන්නිය පිලිඹඳ මතකය මා ඉදිරිපිට චිත්‍රපටයක් මෙන් දිග හැරුනේ ඇයි? ඇය දැන් කොහේ ඇත්ද?


අතීතය අපෙන් ඉවතට තල්ලු කොට අප වර්තමානය හරහා අනාගතයට ඇද දමන්නට කාලයාට හැකි වුවද කාලයාට ඒ අතීතයේ ඇතැම් සොඳුරු  මතකයන් වෙතින් අප ඉවතට තල්ලු කරන්නට නම් නොහැක.එය සිදු  කළ හැක්කේ මාරයාට පමණි.
නමුත් කාලයා හා මාරයා එක් වූ කල නම් අපිට ගැල වීමක් නැත.