Sunday, October 30, 2011

ජීවත් වෙන්න තිබුණානම් තවත් එක දවසක්..........


 ලස්සන කලු පාට සුන්දර ඒ වත                            කමල
දිලිසෙන සුදු පාට බිම ගෑවෙන දල                      දෙපල
වයිරම් වැ‍ටුණු කොම්බුව හැඩ දල                       දෙපල
සිතෙහී ‍රැඳුනු ආඩම්බර ඇත්                             කෙල්ල

වනයේ සිසාරා පල වැල ‍රැගෙන                        එමී
මනරම් සිහිල් දිය වැල් වෙත ‍රැගෙන                 යමී
ලස්සන කැලෑ මල් කඩලා ගෙනත්                    දෙමී
සුන්දර අහිංසක මගෙ ආදරෙ ඔබට                   දෙමී

කිචි බිචි ගාන සියොතුන් ගී නද                       බැද්දේ
ගුමු ගුමු ගාන බඹරුන් ගී නද                           බැද්දේ
සිලි සිලි ගාන ගස් වැල් ගී හඬ                        බැද්දේ
පරයන සෙයින් ආදරයේ හඬ ‍                        රැව්දේ

හමු වූ දා සිටන් මා සිත ඔබට                            බැඳී
පෑ පෙම් ‍රැඟුම් තවමත් මතකෙ                         ඇතී
දෙදෙනෙකු විලස වැඩ කටයුතු ඕනේ               නැතී
තුන්පත් රෑන වන සලකුනු පෙනෙනු                  ඇතී

සඳ දෙවි කුමරි සඳ දියරෙන්                           නාවා
හිරු දෙවි කුමරු හිරු කිරණෙන්                      පිසදා
ලස්සන සිනිඳු මල් පෙත්තක                          දවටා
සුරඟන ලොවෙන් මට කිරි කැටියෙකු            එවලා

බිරිඳත් පුතුත් නිති මා ලඟමයි                          හිටියේ
දිග නා පටලගෙන වැව් මැද දිය                   කෙලියේ
තුන්පත් රෑන නිල් වන මැද රජ                           වූයේ
සුන්දර ලෙසිනි අපෙ ලෝකය ගලා                    ගියේ

හිරු ‍රැස් නපුරු ලෙස පතිතවු දුක්                  කලෙක
බොන්නට දිය පොදක් සොයමින් ගිය            දිනෙක
අටවා තිබූ මර උගුලෙක වැටි                          විටෙක
විසිරී ගියා සුන්දර ලොව අපි                            තැනුව

සඳ ඇති ‍රැයෙක ගංගා තෙර වැලි                  තලයේ
ලස්සන සුරඟනන් ආදර ගී                            ගැයුවේ
ගී හඬ පරදමින් ඔබ ආදර බස්                       දෙඩුවේ
කඳුලක් දුකක් පමනකි ඉතිරිව                       ඇත්තේ

මනසින් උසස් කීවත් මනු ලොව                    මත්තේ
තිරිසන් සතුන්ටත් තිරිසන් ගති                      ඇත්තේ
අවසන් ගමන් යන කල මා වන                      මැද්දේ
බිරිඳත් පුතුත් පමනකි අද ලඟ                        ඇත්තේ


මගෙ හද සිදුරු කල උන්ඩය දුක්                                      දෙන්නේ
බිරිඳගෙ සෙනෙහෙබර රුව ටික ටික                      බොඳවෙන්නේ
නෙතඟින් උණුහුමින් දුක් කඳුලක්                              බේරෙන්නේ
වියලුණු සුළඟ පන නල හා මිතු                                         වන්නේ
ප/ලි-මා තාලයට කිව හැකි කවි බැඳීමට පුංචි පහේ සිසුවෙකු තරම් වත් හපනෙකු නොවෙමි... 

Monday, October 24, 2011

දැන් ඉතින් හිනැහෙන්න.....

 "දඩාස්....!"
හඬින් පියවි සිහියට පැමිණි මා වහා තිරිංග තද කළෙමි.
මාගේ සිව් සක සී මාළිගාවෙන් එලියට බට මා දු‍ටුවේ ලේ විලක් මැද වැටී සිටින පුංචි දරු පැටවකුගේ වේදනාබර අසරණ මුහුනත් කඩි ‍රැලක් මෙන් වහ වහා එතැනට ‍රැස් වන ගම්මු සමූහයත්ය.හැකි ඉක්මනින් ගම්මුන් කිහිප දෙනෙකු සමග දරු පැටියා වාහනයට දමා ගත් මා එක හුස්මට ගමෙහි රෝහල බලා වාහනය දිවවූවෙමි.නමුදු එක් වෛද්‍යවරයෙකු හෝ ග්‍රාමීය රෝහලෙහි ඒ දුෂ්කර නොසිටි බැවිනුත් එකදු ගිලන් රථයක් වත් නොතිබූ බැවිනුත් මා හට නගරය කරාම රිය පදවන්නට සිදු විය.
වාහනයෙන් බැස ඒ කලබලකාරී නවලෝකය පුරාම සිසාරා දිවූ මා නෙත් අවසානයේ සුදේශ් ගේ රුව සොයා ගත්තේය.
"මචං,මේ දරු සතා මගේ වෙහිකල් එකෙනුයි ඇක්සිඩන්ට් වුනේ.හොඳටම අමාරුයි වගේ.පොඩ්ඩක් බලහං මචන්....."
සිදු වූ සිද්ධිය නිසා මහත් සිත් තැවුලකින් පසු වූ මා හට තවත් කිසිවක් එතැන සිදු කිරීමට නොතිබුණි.ඒ මා සමග පාසැල් අවධියේ සිටම ඉතා කුලුපග මිතුරකු වූ,ඒ වන විට නවලෝක රෝහලෙහි සැත්කම් භාර ප්‍රධාන වෛද්‍යවරයා වූ සුදේශ් විසින් සියල්ල හොඳින් සිදු කරමින් තිබූ බැවිනි.
මා සමග වාහනයේ පැමිණි ගැමියන් මොන මොනව ද මා වටා සිට කියමින් සිටියද මා හට ඒ එක් කතාවක වත් වැදගත්කමක් නොතිබුණි.නමුත්.ඒ අතර එක් කතාවක් තදින් මා සිත් හි වැදුණි.....
"මහත්තයා ඕක ගැන වැඩිය කරදර වෙන්න උවමනා නෑ.ඕකුන් කවදත් ගමට කරදරයක් වෙච්චි එවුන්..." අනතුර නිසාවෙන් අවුල්ව ගිය මගේ සිත එම ගැමියාගේ කතාව නිසා කුහුලින් බර විය.
"ඒ මොකද එහෙම කියන්නේ...?"
කුහුලින් බර වූ මගේ සිත මා ලවා විමසවූයේ දරුවාගේ තව තවත් තොරතුරු දැන ගන්න අටියෙනි.
"නෑ මහත්තයා,ඕකගේ අම්මා ඕකා පොඩි කාලෙම දාලා ගිහින්.ඒක ඉතින් ඒකිගේ වැ‍රැද්ද නෙවෙයි.ඕකගේ අප්පා ගමටම ඕන කසිප්පු ටික පෙරපු එකා.කොයි වෙලෙත් කට ගොන්නක් බීපු ගමන්.ඌ එක්ක මෙලෝ ගෑනියෙකුට ඉන්න පුලුවන් කියලැයි ඉතින්....."
"කෝ ඉතින් දරුවගේ තාත්තා පේන්න නෑනේ ඩිංගිරි උන්නැහේ..?"
"ඌ ඉතින් කසිප්පු වලටම දිය වෙලා ගියා..මේක ගමේ කොහෙන් හරි ගේකින් ඉල්ල කාලා තමා හැදෙන්න්නේ..."
 ගම්මුන්ගේ සිතිවිලි කෙලෙස වෙතත් එය ඇසූවත්ම දරුවා පිලිඹඳ අසීමිත දයානුකම්පාවකින් ම'සිත පිරී යන්නට විය.
ගැමියන්ගේ සිත් වල මා පිලිඹඳ වූ ගෞරවය නිසාවෙන් ඔවුන් මා අතින් සිදු වූ වරද සාධාරණීකරනය කරන්නට තැත් කලද එහි සම්පූර්ණ වරද මා අතෙහි වීම මා සිතට තදින් පහර දෙමින් තිබුණේ පෙර දින රාත්‍රියෙහි නිදි වැරූ නිසා වූ කෙඩෙත්තු ගතියත්,නිදිබර ගතියත්,ව්‍යාකූල බවත් ඒ මොහොතේ සුක්කානම හසුරවමින් තිබූ නිසාවෙනි.
"ප්‍රසන්න...."හදිසි රෝගීන්ගේ ශල්‍යාගාරය දෙසින් හදිසියේම නැඟුනේ වූයේ මා පුරා හෝරා ගනනාවක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටි හඬයි
"කියපන් මචං පොඩි එකාට කොහොමද?
"සමාවෙයන් මචං අපි සෑහෙන්න ට්‍රයි කරා..අපි ලයිෆ් එක නම් බේර ගත්තා...ඒත්...."
"ඒත් කියන්නේ....?"
"පේෂන්ගේ ඉනෙන් පහලට සදහටම පණ නෑ..."
මා වටා අවට ලෝකය කැරකෙන්නාක් මෙන් දැනුණි.මා වහා එතැන තිබූ සෝපාවකට ඇද වැ‍ටුනෙමි.
**දැන් ඉතින් මම කුමක් කරම්ද.....?(මෙයට කළ හැකි බොහෝ දේ ඇතත් මා ම'විසින් කල යුතු නිවැරදිම දෙය කලෙමි.)
මිල-මුදල්,යාන-වාහන,වස්තු සම්පත්,තානාන්තර...මේ කිසිවකට මගේ ජීවිතයේ තවත් නම් ඉඩක් නොමැත..ඒ එතරම් ඒවායින් මාගේ ජීවිතය පිරී ඇති බැව්නි.නමුත්......පෙර කල පව් නිසාවෙන්දෝ, විවාහයෙන් සත් වසක් ඉක්ම ගියද අප සුවිසැල් මැදුර තවමත් දරු පැටවකුගේ සිනා හඬකින් පිරී නැත.කිරි සුවඳක් නිවස අසලක වත් නොමැත.
සහෘද,
තවදුරටත් ඔහු අනාථ දරුවෙක් නොවනු ඇත....අදින් පසු මා සදාදරණීය පියෙකු වනු ඇත.අප දෙපල සදාදරණීය මා පිය දෙපලක් වනු ඇත.
ගම්මුන්ට පාලමක් තනා දෙන්නට වූ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස ඒ ගම් පියසට පා තැබූ මා සදාකාලික අබ්බගාත කොලු පැටියෙකුට ආදරණීය පියා වන්නට යන්නෙමි. තවදුරටත් පමා විය යුතු නැත.......
ඒ දිලිසෙන අසරණ දෑස සතු‍ටු කඳුලින් තෙත් කරන්නට මා නොඉවසිල්ලෙන්......

Thursday, October 20, 2011

මුවැත්තියකගේ උණුසුම...

හෝව්.!හෝව්.! හෝව්.!
යැයි කෙතරම් මා කෑ ගැසුවද මාගේ ශබ්දය පරදා කබල් රතු පැහැබස් රථය කලු දුම් වලාවක නොපෙනී ගියේය.
"අපරාදේ මහත්තයා තව විනාඩි පහක් ඉස්සර වුණානම් ඒකේ යන්න තිබුණා.ඔය කැබිතිගොල්ලෑවට යන අන්තිම බස් එක.."
බස් රථයෙන් බැස ගත් තලත්තෑනි අයෙකු පැවසූයේ කෝපය වෙලාගත් ම'සිත ට යම් කලකිරීමක් ද ඇති කරමිනි.වේලාව රාත්‍රී දොළහට ආසන්න ව තිබූ නිසාත් අනුරාධ නුවරට මා අමුත්තෙකු වූ නිසාත් එදා ‍රැය බස් නැවතුමෙහි ගෙවනවා හැරෙන්නට මට වෙන විකල්පයක් නොතිබුනි.මා අත වූ බ‍රැති ගමන් මල්ල පසෙකින් තැබූ මා බස් නැවතුමෙහි වූ කබල් ලී බංකුවකට බර වූයේ මිරිස්සේ සිට පැය ගනනාවක් බස් වල පැමිණ ඇතිව තිබූ තෙහෙට්‍ටුව මදකටහෝ නිවා ගන්නා අටියෙනි.තෙහෙට්‍ටුව හා නිදිබර බව රජ යමින් තිබූ අඩවන් දෑස් පියන් පත් වැසෙන්නට ඔන්න මෙන්න තිබියදී මා හට රාත්‍රී දොළහ කණිසම වදිනු ඇසිණි.එකෙණිහිම මා නෙත ගැ‍ටුනේ වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර කාන්තා රුවකි.
"අයියා කොහාටද යන්නේ...?" රූපයටම සරි කටහඬකින් ඇසූවද, "කැබිතිගොල්ලෑවට" යි කෙටි පිලිතුරකින් මා නිහඬ වූයේ ගමන් මහන්සිය නිසාවෙන්මය.
''අයියලාගේ ගෙවල් එහෙද?" ඇය නැවතත් හඬ අවදි කල සැටියෙන් ඒ පිලිතුරෙන් සෑහීමකට පත් නොවූ බවක් පෙණිනි.ඉතින් මා මහා පතරංග ජාතකයම දිග හැරියෙමි.
"මම මේ මිරිස්සේ ඉඳලා,මගේ මුල් ගුරු පත් වීම එහෙට.ඒකයි එහේ යන්නේ...."


"ආ මමත් එහෙට තමා යන්නේ,මම එන්නේ ක‍ටුනායක ඉඳලා..පඩි අරගෙන ගෙදර යන ගමන්.." යි ඇසෙත්ම නොරිස්සුම වෙලා ගෙන තිබූ මා සිත ඇය පිලිඹඳ මහත් අනුකම්පාවකින් වෙලා ගන්නට වූයේ කලාපයේ යුවතියන්ගේ දුක්බර දිවිය පිලිඹඳ මා අසා තිබූ යම් යම් කරුණු නිසාවෙන් විය හැක.
තවමත් බර බෑගයත් අත දරා මා ඉදිරිපිට වූ ඇයගේ සොඳුරු බව මලානික පහන් එළියත් දෑකැත්තක් වන් දුබල සඳේ එළියත් සමග එක්ව නෙතෙහි දඟ දාන්නට විය.ලප කැලලින් තොර සුදුවන් වතත්,මුව පොව්වකුගේ මෙන් අහිංසක දිලිසෙන දෑසත්,පිරිපුන් තන යුගලත්,පුලුල් උකුලත්,සිහින් ඉඟටියත් ඇය කදිම සුන්දරියක් බව විදහා දක්වන ඇතැම් සලකුණු විය.
"මෙතනින් ඉඳ ගන්න,ආයේ බස් එකක් හෙට උදේට..අද මෙතන තමා රෑ ඉන්න වෙන්නේ.."  වෙනත් බංකුවට ඒ සුන්දරත්වයේ බර දරා ගනු නොදී මා පැවසුවෙමි.
පුරා අඩ හෝරාවක කාලයක් සොඳුරු දොඩමලුවකින් මා හද සොරා ගත් ඒ මුවැත්තිය කෙමෙන් කෙමෙන් මා ගත ස්පර්ශ වනු දැණිනි.ඒ සොඳුරු ස්පර්ශයෙන් ශෲංගාරයෙන් පිරී ඉතිර ගිය මා ගත සිත තව දුරටත් පාලනය කරගත නොහැකිවූ තැන ඇයගේ  බඳ වටා මා අත එතුණි.කිසිදු විරුද්ධත්වයක් එයට නොපෑ ඇයගේ සුන්දර දෙඅත් මා ගෙල තදින් වැළඳ ගති.


ඒ පහසින් පිබිදුනු මගේ උණුසුම් දෙතොල් ඇගේ සුන්දර වත සිසාරා, රත් පහැ පොපියන දෙතොල් මත  දිගු වේලාවක් ලැගුම් ගත්තේ නොනිමි ආසාවකිනි.ඒ දෙතොල් අත් හැරි මා දෙතොල්,කෙමෙන් උස් පහත් වන ලැම පොහොට්‍ටු මතින් ගොස්, ඇගේ ආත්මය මත නතර වුණි.මිනිස් පුලුටක් පෙනෙනට නොමැති ඒ පාලු නගරය මැද අප ආත්මයන් එක් වුනි.ඒ සුන්දරත්වයට තුරුලුව මා පුරා හෝරා කීපයක් නිදන්නට ඇත.
උදෑසන හයේ කණිසම වදින හඬට මා පිබිදෙන විටද අදුර හාත්පස අතැර ගොස් නොතිබිණ. නමුත්....ඒ සොඳුරු මුවැත්තිය මා අතැර ගොස්ය.ඒත් සමගම මාගේ පවුම් හතරක් පමණ වටිනා රන් මාලයත්,රන් අත් පලඳනාවත්,මුදල් පසුම්බියත් මා අතැර ගොස්ය..


ඒ කිසිවක් මා අත හැර ගියද ඒ සොඳුරු නිමේශයේ උණුසුම කෙදිනක වත් මා දමා නොයන බව නම් විශ්වාසය.....
                                       ********තෙවැනි ඇසින් දකින්න ලෝකය*************

Monday, October 10, 2011

අසරණ හද මඬල......හඬන හඬ....

නපුරු වුවත් ලොව සැරිසරන ම' වටා
අසරණ ම' දෑස් තෙලිතුඩ
අඳියි සිත්තමක් දුක්බර, නුදු‍ටු ලෝකය
සත්තමයි....
සීත මාළිගා පියාඹා ගියත් මා පසුකර
අසරණය ටින් කබල මලකඩ
නොහේ කුසගිනි නිවන්නට ඔබ අපේ...
අහිමිව ගියැ මුත් පිය සෙනෙහස දයාබර,
මව් සෙනෙහස ආදරණීය සදහට
වියනු වස් දිවි දැල
සදා ලොව අඳුරු සොයුරුට හිරු වනු වස්
කලෙමි නො කලයුත්තක්........
වනු මැන සමා....අසරණයි මා.....

Friday, October 7, 2011

බොඳවැ ගිය හන්තාන මීදුම...

මහා පොත් කඳු වලට යටව
විද්‍යාවේ යදමින් බැඳ
යෞවනයේ සුන්දරත්වය අගුලු ලා
නිදිබර නෙතු පියන් නොපියා
දු‍ටුවත් සුන්දරත්වයේ සුබ සිහින
දෑ අවුරුදු  මුලුල්ලේ
තබනට අත් පොත් වෙදකමෙහි
විඳින්නට අසිරිය ඔබේ
තුරුලට වැද ඔබේ
පුරා ස'වසක්
දෙව්දියණියනි සරසවි පේරදෙණි සුන්දර
මහවැලි කොමලිය පිරිමදිමින්
මල් උයන සිසාරා සිප
හන්තාන සැඟව යන
සුන්දර සීතල මීදුම් වලාවක් සේ
බොඳව ගිය
අහෝ..දුක්බර..

සුන්දර හන්තාන සරසවි සිහිනය....

කොහොමද මගේ සිතුවිලි උල්පත උපදින්නේ.....

ජීවිතය මහා පුදුමාකාරයි.මුතු ඇටේ ඇටේ එකතු කරලා ලස්සන මුතු මාලයක් අමුණනවා වගේ අපිත් අත්දැකීම් චුට්ට චුට්ට එකතු කරලා ලස්සන ජීවිතයක් අමුණන්න උත්සාහ කරනවා මුලු ජීවිතය පුරාවටම...මුතු බෙල්ලෙක් ඒ මුතු ඇටය බිහි කරන්න වැලි කැටයත් එක්ක පුදුම සටනක් තමා දෙන්නේ.ඒ වගේම අපිත් ජීවිතයේ අත්දැකීම් එකතු කර ගන්න සටන් කරන්න ඕන ලොකයත් එක්ක.
මගේ සිත් වැව් තලේ ‍රැලි දෙන කවි සිතුවිලි පන්හිඳ අගට අරන් පත් ඉරු සරසන එකත් මට නම් මහා සුන්දර අත්දැකීමක්.ඒක ජීවිතේ එක වෙලාවකදී සිතේ ගැඹුරුම කලබලකාරී තැන මහා හාස්කමකින් වගේ සන්සුන් කරනවා.හරියට නිර්මල බුදු දහම වගේ.ඒ කියන්නේ කවියත් එක්තරා දර්ශනයක්.මගේ ජීවිතේ කව්රුවත් නැතුව මම තනි වෙච්ච වෙලාවට මගේ ලඟින්ම හිටපු එකම එක්කෙනා තමා මගේ සුන්දර සිතුවිලි අහුර..ඉතින් මට ඒක මහා පුදුමාකාර අත්දැකීමක්.
මම උපන්නේ මෙ රජරට පිංබිම.මගේ මේ පිංබර මව්බිමේ මහා සමුදුර පරයන වැව් වලින් නාලා පිංබර ස්වර්ණමාලි කොත් සමිඳු වැඳගෙන ජය සිරි මා හාමුදුරුවොන්ගේ බෝ පත් තාලෙට ලෙලවලා එන පිං පිරුණු හීතල හුළං චිත්ත සංතාන වැව් දිය කලඹවනකොට පැන නගින සිතුවිලි ‍රැල්ල ඇඟිලි තුඩු එක්ක දඟ කරලා පන්හිඳ දිගේ පත් ඉරුවකට බහිනවා..
මෙ තියෙන්නේ ඒ සීතල සිතුවිලි ‍තෝතැන්න....
කවි සිත් මල් යායක සිත් වල පීදුනු මල් කැකුලු...
එහෙමයි මගේ සිත් මඬල කව් මාලෙන් සැරසෙන්නේ......

අසරණදෝ අද ඔබ,,,,,, අම්මේ.....

කරුණාවේ පාට පොද ආදර දියෙන් කලතා
කඳුලු මිණි කැට තෙලිතුඩගට ගෙන
සිත්තම් කලා ඔබ එදා සෙනෙහසින් සිතුවමක්
දාරක සෙනෙහසේ නාමයෙන්
ඒ සිත්තමම උදෙසා වියැකුනත් ඔබේ ආත්මය..
ආදරයේ සොඳුරුතම ප්‍රතිමූර්තිය වුනා ඔබ
පෙරදිනක අම්මේ...
ඒත්...
දුබලව ගිය කල ආත්මය ඔබේ
ඔබ ආදර දියෙන් සිත්තම් කල
ඒ සොඳුරු සිත්තම
කෙලෙසද දියැව ගියේ..
අධර්මයේ අනෝරා වරුසාවෙන්
ආදරණීය අතීතයක දරු සෙනෙහසක මතකයන්
නිවූවත් ඔබේ හිතෙ ගින්දර...
කවුරුන්දෝ නිවන්නේ කුස ගින්දර ඔබේ..
ආදරණීය,,,අසරණ අම්මේ......

Thursday, October 6, 2011

මගේ කවි සිත...


සුවහසක් දනන්    
ගත සිත සනහන               
පිංබර වෙදෙක් වන්නට
තැනුවද..             
වෙද නලාව උරුම වන්නට යන දෑතට
පන්හිඳද හුරු වනු පිණිස ත්...
මගේ සිත් ගැඹරේ පෙ‍රැලි කරන කව් සිතිවිලි
පෙරලනු රිසිනුත්
අදහස් කලෙමි සරසන්නට පිටක් විද්‍යුත්
මසිත පුරා දුවවිත්
පෙ‍රැලි කොට පන්හිඳ තුඩග සමග
පෙ‍රැලෙන කව් පද කවියකට..
ඉතින් සුහද මා හිතැති                  
සනහන්න සිත ඔබේ
ගෙන සිත් තුරුලට ම කව් පද....

ගොවි පුතුන්....


පොත් මල්ල වෙනුවට උරට උදැලු අවිය
පොතපත වෙනුවට ගොයම් පත
පන්හිඳ වෙනුවට අතට කෙවිට
ගෙනැ
ගුරුගෙදරින් නොව ගොවි බිමින්
ජීවිතයේ පරතෙර දකින්නට
සුන්දර ගොවිකම ‍තෝරා ගත්
රජරට ගොවි පුතුනේ...
සීත කාමර තුල,සෝබන නගර වල
සරුව-පිත්තල යුගයේ....බඩ කට පිරෙන්නේ
නුඹේ දාඩිය මුතු කැට වලින් සාර වන
පොලොවේ ඉපදෙන...
වී මුතු ඇට වලිනි...
එහෙයින්...
ජාතියේ ආඩම්බරකාර පුතුන් නුඹයි...
මහ පොලොවේ උරුමය නුඹටයි......

සුන්දර ස්වර්ණමාලිය..... පුදුමාකාරයි...

ජීවිත දින පොත ඔහේ පෙරලෙනකොට
ඒකට අරුතක් දෙන්න හිතාගෙන
ගියා දැක්මේ රිසියෙන් පිංබර රජරට
සිලි සිලි ශාන්ත හඬින් ලෙලෙන බෝ පත් සිහිල විඳ
පියමැන්නා විඳගන්නට පිංබර ස්වර්ණමාලිය දෑස පුරාවටම
විශ්මයකි!
කෙලෙසද ස්වර්ණමාලියේ ඔබ නැගුනේ මෙ තරමට
ඇසුවෙමි ශ්වේත රාජිණියගෙන්
ඒ සුන්දර අතීතයේ දී
ගාමිණී මහා නිරිඳුන් ලක් මවට තිබූ ආදරයත්
පෙර ලක් දරුවනගේ ත්‍රි රත්නයට තිබූ ශ්‍රධාවේ මහිමයත්
මිස
අන් කවරදැයි මිමිණුවා සිහින් හඬින්.....